212) තන නොතන නිදි නොදෙන ඇස් ගහන ඇට කඩන “(හ)පොයි“

පහුගිය සති කිහිපයේ තිබුණු “ගිණි රස්නේ“ට තිත් කොමාවක් තබමින් වැහ පොදක් වැටෙන්නට පටන් ගත්ත.දවසම ටිකක් අඳුරු වුනත් මටනම් අර ගිනි රස්නෙට වඩා මේ “අඳුර“ සැපයි.කොහොම වුනත් මේ අඳුරු , සීතල නින්දටම කියාපු දවසේ වුනත් “රාජකාරිය“ මග හරින්න බැරි නිසා ( මේ දවස් වල පාසල් නිවාඩු නිසා පොඩි එවුනුත් ගෙදර ඉන්න එකේ , කොහේ හරි ඇවිදින්න යන්න හොඳම දවස)  පොඩ්ඩක් විතර පරක්කු වෙලා වැඩට ආව. මගේ පරක්කුව මොකෝ , වේලාසන ආපු අයත් තවම තැන් තැන් වල කසු කුසුව . ඊයේ රැයේ අපේ ආසන්න නගරයකට වැඩුනු හිම , අයිස් ගුලි වැස්ස ගැන තමයි වැඩි කතාවක් වෙන්නේ. මොකද ඒ අයිස් බෝල නිසා රථවාහන වලට සෑහෙන හානි වුනා. කසු කුසු අස්සෙ ඒකකයට ඇතුළුවුනා .

“හේයි මයික් , සුබ උදෑසනක් !  , ඒවුනාට අද මහ මූසල දවසක් වගේනේ , තෙතයි , කළුවරයි“ ඒකකයේ සහෝදර නිලධාරිනියක් හැමදාම කරන සුබ පැතුමට තවත් පද ටිකක් එකතු කළා.
මෙහෙට හරි අව්ව
“හ්ම් , ටිකක් සීතලයි , තෙතයි තමා , ඒ වුනාට ගිය සතියේ තිබුණු 32-33 (සෙල්සියස්)ට වඩා හොඳයි මට නම්“
“ඒකනම් කියල , ඒ දවස් ටිකේ අපේ ලොකු දූ , මං අර දවසක් කිව්වේ , කෙල්ලට හරිම අමාරුයි , හොට් ෆලෂස් නේ , කෙල්ලට එපා වෙලා හිටියේ “ ඇය චවන හැසිරුවෙ හිතේ පොඩි දුකක් හංගගෙන වගේ.
නගරයේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක ප්‍රචාරණ නිලධාරිණීයක් විදියට සේවය කරන ඇය , වරින් වර අපේ ආයතනයටක් ප්‍රචාරන කටයුතු සඳහා ආව ගියා මතකයි . වයස අවුරුදු විසර හතරක් , විසි පහක් වුනත් , ඒ තරම් ඇඟපතක් නැති ටිකක් කටකාර කෙල්ලක් ඇය. නමුත් පහුගිය මාස කිහිපයකට පෙර ඇය ගේ ඩිම්බ කෝෂවල ක්‍රියාත්මක බව අඩුවෙමින් (නවතින) බවක් ඇගේ පවුලේ වෛද්‍යවරයා පවසා තිබුණා. මේ වන විටත් වරින් වර විශේෂිත පරික්ෂණ වලට යොමු වෙමින් ප්‍රතිකාර ගනිමින් සිටින ඇයට මේ රස්නය නම් ඒතරම් සුවදායක නැති බවයි ඇගේ මව , මගේ සහායක  මිතුරිය පවසන්නේ. අස්වාභාවික ලෙස නියමිත කාළසීමාවට පෙර කාන්තාවකගේ ඩිම්බකෝෂ වල හැකියාව අඩුපණ වන ක්‍රියාශ්‍රිලී බව අක්‍රමවත් වන මේ තත්ත්වය අද වෛද්‍ය විද්‍යා වෙදි හඳුන්වන්නෙ Primary Ovarian Insufficiency -POI කියල 
 
මොකක්ද මේ පොයි ?
 
ඔබ දන්නවනේ කාන්තාවකගේ හොමෝන පද්ධතියේ ප්‍රධාන වගකීමක් දරන ඊ්ස්ට්‍රජන් , ප්‍රොෙජස්ටරෝන් වගේ හොමෝන හදමින් ඇගේ සරුබර පවත්වා ගන්නට , ආර්තවය පවත්වා ගනිමින් නිසි කළට ඩිම්බ සෛල ලබා දෙන්නට වගේම , ඇයගේ දේහ ස්වරුපය , පිරිපුන් පෙනුම , පියයුරු , අස්ථී වල ශක්තිමත් බව පවත්වා ගන්නට උදව් කරන ඩිම්බ කෝෂ දෙක ගැන. අර දහයේ පන්තියේ ප්‍රජනක පද්ධතිය පාඩමේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය හඳුන්වල දෙත්දි අඳින “බයිසිකල් හැඩල් එක වගේ“ නැම්මේ දෙකෙළවරේ තිබෙන පොඩි ගෙඩි දෙක ගැන තමා මේ කීවේ. පොඩියට හිටියට මේ දෙන්නා ලොකු වැඩකොටසක් කරනවා. නමුත් යම් හේතුවක්  නිසා මේ දෙන්නා තමන්ගේ වගකීම් ටිකෙන් ටික මගහරින්න පටන් ගන්නවා වයසට යන්න ඉස්සරම . කවුරුත් වගේ වයසට ගියාම ටිකක් ලොකු ලොකු රාජකාරි  මගහරින එක සාමාන්‍ය දෙයක් නේ. ඒ විදියටම කාන්තාවක් ආර්තවාභාවයට පත්වය වයස , අවුරුදු 48-51 වගේ සීමාවට පෙරම වැඩ නැවැත්වීම තමයි මේ කියන රෝග තත්ත්වයට හේතුව. හේතුව හරියටම මොකක්ද කියල නොකීවත් , සමහර විට වයස අවුරුදු 16-18 වගේ වුනත් මේ විදියට “වයසට“ යන්න පුළුවන්. ඒ කීවේ Primary Ovarian Insufficiency තත්ත්වය අවුරුදු 15-30 අතරෙදි ඇති වන්න පුළුවන්.
 
මොනවද පොයි රෝග ලක්ෂණ ?
 
ප්‍රධානම සහ පුර්ව අවස්ථාවේම ඇතිවන ලක්ෂණය තමයි ආර්තව රටාවේ වෙනස්වීම්. ආර්තවය ආරම්භ වෙලා මෙතෙක් මාසිකව ක්‍රමාණුකූලව සිදුවුනු ආර්තවය දැන් ටික කළක සිට මාස කිහිපයක් නතර වෙලා තිබිලා , ආයෙත් පටන් ගන්නව නම් , නැවත මාස කිහිපයක් නතර වෙලා , ඔය විදියට ආර්තව රටාවේ රිද්මය වෙනස්වීම , නැත්නම් හේතුවක් නැතිවම මාස 4-5ක් විතර ආර්තවම  නැවතිලාම තිබීම මුලික ලක්ෂණය වෙන්න පුළුවන්. ( දැන් කළබල වෙන්න එපා , සමහර හෝමෝන පෙති , ප්‍රතිජීවක ඖෂධ , විකිරණ ප්‍රතිකාර ආදිය නිසා ආර්තවය  ටික කළකට නතර වෙලා තිබෙන්න පුළුවන් , මේ කතා කරන්නෙ එහෙම හේතුවක් නොදන්නා වෙනස් වීම් ගැන , ඒ වගේම වයස අවුරුදු 41න් පස්සෙ සමහර අවස්ථාවල මෙවන් ලක්ෂණ ඇතිවුනත් ඒ මෙම රෝගයම නොවන්නට අවස්ථාව වැඩියි)
ආර්තවයේ රටාව වෙනස්වීමට අමතරව තවත් බාහිරව හඳුනාගත හැකි ලක්ෂණ අතර ඇගේ පියයුරු වල ප්‍රමාණය ඉතා කුඩාවට පිහිටීම සහ වයසට අනුව වර්ධනයක් දකින්නට නොමැතිකමක් එකක්. විශේෂයෙන්ම වැඩිවිය පත්වීමෙන් පසු මුල් මාස/වසර කිහිපිය තුල සිදුවිය යුතු පියයුරු වර්ධනය මොවුන්ගෙ දකින්නට නැහැ.
එහෙම නැත්නම් පියයුරු වල ප්‍රමාණය කුඩාවී හැකිළෙන ස්වාභයකට පත්වන්නටත් පුළුවන්. 
ඊට වඩා හඳුනාගත හැකි පුධාන ලක්ෂණයක් තමයි , හේතුවක් තැනිව මුහුණීන් , සමහර විට ඇඟපත පුරා පිළීස්සෙන්නා සේ දැනෙන සංවේදනයන්. විශේෂයෙන්ම , පරිසරය මදක් උණුසුම් වූ විට , මේ “ගිණී පිට වෙන ස්වභාවය“ වැඩි පුර දැනෙන්නට පුළුවන්. ( දැන් මේ කිව්වේ , කොළඹ පිටකොටුවේ ගිණීගහන කට්ට් අවුවේ , කොටන බස් එක එනකම් ඉත්දි දැනෙන “ගිණී පිට විල්ල“ නොවෙයි) රාත්‍රී කාළයට මේ හොට් ෆල්ෂස් වැඩිපුර දැනෙන්න පුළුවන් , මේ නිසාම “සැප නින්දක්“

හොට් ෆල්ෂස් දැනෙන්නේ

නොලැබෙන තරම්. ඒ නිසාම පසුව දාට හිත හරිම  නොසන්සුන් , නොරිස්සුම්  , ඉක්මණින් තරහා යන්නත් පුළුවන් .දැන් මේ කියාගෙන ගියේ “පොයි“ වල පුධාන ලක්ෂණ කිහිපයක්. මේ කාන්තාව ලිංගිකව එක්වීමක් වුවානම් එය ඒතරම්ම ප්‍රසන්න නොවන්නට ඉඩ වැඩියි. මක් නිසාද යෝනී මාර්ගය ආශ්‍රිතව ලිහිසි බව ඇති කරන ස්‍රාවයන් හිඟ නිසා , තරමක වියළි ස්වභාවයක් ඇති වන්නට පුළුවන්. මේ වගේම වියළි බවක් ඇස් ඇතුලෙන් ඇති වන නිසා ඇස් වල වේදනාව , පෙනීම පෙනස් වීම , බොඳ වෙලා වගේ පෙනන තත්ත්වයන් ඇති වන්නටත් ඉඩක් තියෙනවා.

 
මේ ලක්ෂණ ඇත්නම් ?
 
වැදගත්මදේ අනවශ්‍ය ලෙස කළබල වෙලා , බලිතොවිල් , ටීවි වෙද්දු , දිවැසිවරුන් ගාවට ගිහින් වැඩේ කුරෝලු කරගන්න එපා. මේ කියන ලක්ෂණ තවත් රෝග වලදි සහ ප්‍රතිකාර වලදිත් එන්න පුළුවන් බව දැනගෙන , ඔබෙ පවුලේ වෛද්‍යවරයා හමුව මුලික කායික පරික්ෂාවක් සඳහා යොමුවීම වටිනවා. එතැනදි ඔහු හෝ ඇය තවත් රැධීර පරික්ෂාකිහිපයක් කරමින් ඔබෙ හෝමෝන වල මට්ටම් පිළිබඳව විමසා බලාවි. එතැනදි යම් අසාමාන්‍යතාවයක් හඳුනාගත්තෛාත් ඔබව කාන්තා රෝග/ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු කරන එකයි වෙන්නේ.
 
ඉතින් ඊට පස්සේ ?
 
ඊට පස්සෙ තත්ත්වය මෙය යැයි හඳුනාගත්තොත් ප්‍රධානව හෝමෝන ප්‍රතිකාර සහ තවත් අතිරේක ප්‍රතිකාර කිහිපයකට යොමු වන්නට වේවි. වැදගත් , මේ ප්‍රතිකාර සති දෙක තුනකින් නතර නොවී නියමිත උපදෙස් පරිදි ටික කළක් කරගන්නට වෙනවා. ප්‍රතිකාර මගින් රෝග තත්තත්වය  සුව වීම අපේකෂා කරත් , එය එසේ නොවී ඇති වන ගැටළු අවම කිරිීමටවවත් හේතු වෙන නිසා නිසි ප්‍රතිකාරය හරිම වැදගත්.
 
ප්‍රතිකාර නොකළොත් ?
 
මේ Primary Ovarian Insufficiency තත්ත්වයේ ප්‍රධාන ගැටළු ඇතිවන්නේ ස්ත්‍රී හෝමෝන ආශ්‍රිතව බව අප පෙර කීව .මේ හොමෝන වල සහයෝගය නිසාවෙන් තමයි කාන්තාවකට “මවක“ වීමේ හැකියාව ලබා දෙන්නෙ. තව විදියකින් කිව්වොත් , ප්‍රතිකාර නොලදොත් , දරුපල ලබා ගැනීමේ හැකියාව නොලැබෙන්නමත් පුළුවන්. ඒ එක්කම , තවත් ගැටළු ගණනාවක , ඒ කිවේ අස්ථි වල ශක්තිමත් බව අඩුවීම නිසා , නිතර අස්ථී බිඳිීම් , හෘදයාබාධ , මානසික ආබාධ වගේ තවත් ගැටළු රැසකට මුහුණ දෙන්නට වෙන්න පුළුවන්.
 
ඊට වඩා ප්‍රශ්නය , මෙහෙම හිතන්න , තරුණ වයසේ හීන ගොඩක් පුරවගෙන ඉන්න කෙල්ලෙක්ට කිව්වොත් , “ඔයාට අනාගයේ දරුවෙක් හදන්න තිබෙන හැකියාව නැතිවෙමින් යනවා“  , ඒ හීන බිඳ වැටෙත්දි ඇතිවන මානසික කම්පනය නිසා ඇතිවන තත්ත්වයට නිසා උපකාර උපදේශනය ලබා දිය යුතුම වෙනවා. නැත්නම් එයම ඇති “ජීවිතයක් නැතිවන්නට පවා“ .
 
හරිපාරෙ ගියොත්?
 
නිවැරදි ප්‍රතිකාර / උපදේශන ලබා ඒ අනුව කටයුතු කළොත් , 
  1. මේ තත්ත්වය නිසා ඇතිවන අනෙකුත් ගැටළු සෑහෙන දුරට මගහරවා ගන්නට පුළුවන්
  2. ස්ත්‍රි ප්‍රජනක පද්ධතියේ ක්‍රියාත්මකබව යම් තරමකින් හෝ පවත්වා ගන්නට පුළුවන් නිසා ඒ ආශ්‍රිතව ඇතිවන අපහසුතා සීමාවෙනවා.
  3. දරුවෙක් අපේකෂාවෙන් සිටින්නේ නම් , ඒ සඳහා යම් තරමක වාසියක් ඇති වන්නට පුළුවන්. ( 100%ක්ම සාර්ථක නොවෙතත් ඉඩක් නැත්තෙම නැත්තේ මේ පොයි හිටපු ගමන් වෙනස්වෙන්නත් පුළුවන් අමුතු ලෙඩක් නිසා)
  4. දරුවෙකු ලබා ගැනීමේ හැකියාව නැත්නම් , ඒ සඳහා ඇති වෙනත් වෛද්‍යතාක්ෂණ ක්‍රම සඳහා යොමු වීමේදී , සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා.
  5. තත්තත්වය 100%කින් සුව නොවුනත්  , සෑහෙන දුරට සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් අනාගතයට මුහුණ දෙන්නට හැකි වෙනවා.
මේකට හේතුව ? 
 
කෙටිම උත්තරේ “අහේතුව“ ඒ කියන්නෙ ටක්කෙටම උත්තරේ මේකයි කියල කියන්න බැහැ. නමුත් ජානමය ගැටළු , ඇඟ ඇතුළෙම ඉන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති වන ගැටළු , විකිරණ ප්‍රතිකාර වලට යොමු වීම වගේ හේතු ගණනාවක් “විය හැකි හේතු “ ලැයිස්තුවට දාන්න පුළුවන්. 
 
දැන ගැනම ඇන නොගැනීමට හේතුවිය හැක
 
කෙසේ වෙතත් රෝග තත්ත්වයක ගැන , අවදානම , වැලකෙන ආකරය විය හැකි ලක්ෂණ ආදී මූලික කරුණු ටිකක් දැන සිටීම වරදක් වෙන්නේ නැහැ. අන්න ඒ අරමුණ ඔස්සෙ තමයි අවුරුදු හතක් පුරාවට සොඳුරු සුව අසපුවට ලිපි එක්වන්නේ. මොකද “අපි හරි වෙනස්ජාතියක් නේ“ , ලෙඩේ වුනාම තමයි ඒ ගැන හොයන්නේ , ටීවි වෙද්දු , ෆේසුබුක් වෙද්දු හොයන්නේ.  මේ රටවල ඉන්න අනෙක් “ජාති“ නම් මේ හැම දෙයක් ගැනට ටික ටික හරි දන්නවා , හොයනවා , දැන ගෙනෙ “ලොකු“ වෙනවා. ( මේ සමහර තත්තත්ව ගැන දහයේ පන්තියේ ඉන්න මගේ ලොකුදුව මට කියල දෙනවා)  . අන්න ඒ නිසා අපි හරි වෙනස්!  
 
අනෙක අපි හුඟ දෙනෙක් හිතන්නේ “සෞඛ්‍ය , ලෙඩ රෝග“ කියන දේ ගැන උපදෙස් දෙන්නේ , කතා කරන්න පුළුවන් එක්තරා පිරිසකට විතරයි කියල , එය වැරදියි , සෞඛ්‍ය සේවාව තැනෙන්නේ වෘත්තීය සුදුසුකම් ලත් වෘත්තීන් ගණනාවක එකතුවෙන්. ඒ හැම කණ්ඩායමකටම වගකීමක් වගවීමක් තිබෙනවා , සෞඛ්‍ය වර්ධනය වෙනුවෙන් ජනතාව දැනුවත් කරන්නට. වැදගත්ම දේ ඒ උපදේස දෙන පුද්ගලයා රටේ පිළිගන්නා නීති වලට අනුව අදාල සෞඛ්‍ය වෘත්තීව පිළිබඳ උපදෙස් ලබා දෙන්නට  සුදුසුකම් ලද්දෙක්ද කියල දැන ගන්න එක (මේ ගැන පෙර ලිපියක කතා කළා)  සොඳුරු සුව අසපුව ඔස්සේ වසර හතක් පුරාවට ලිපි එක්වන්නෙත් මේ අරමුණෙන්. 
ඔන්න ඔය නිසාම අපි වෙනස් !  වෙනස් රැකගන්නවාද , වෙනස වෙනස් කරමින් ලෝකයත් එක්ක ඉදිරියට යනවාද කියන එකම අප හැමෝගෙම තීරණයක්.
 

කතාව ඉවරයි , ඉඩක් ලද විගස නැවත හමුවෙන්නම් .

ආ .. කියන්න අමතක වුනා …

මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්ටැ…. අපොයි හරි වැස්ස

වෙලත් උතුරන්ට…..

2 thoughts on “212) තන නොතන නිදි නොදෙන ඇස් ගහන ඇට කඩන “(හ)පොයි“

Comments are closed.