213) වඳ දෙන “තිසරපටේ උද්දාමය“

දවසේ වැඩකටයුතු නිමාවුනාම විනාඩි කිහිපයක් මුහුණූ පොත මත එහා මෙහා දුවමින් අද දවසේ අහන්න දකින්න නොලැබුණූ අළුත් ප්‍රවෘත්ති  , රස කතා වගේම සුන්දර ගී කිහිපයකත් රස විඳින එක දැන ජීවතේ එක අංගයක් වෙලා.  පහුගිය දවසක ඒ විදියට එහා මෙහි යත්දි හමුවුනු මේ තරුණූ නිර්මාණකරුවන් ගැන මුලින්ම මෙ කියවන ඔබ දැනුවත් කරල ඉන්න හිතුනා . සමහර  විට ඔබ දැනටමත් මොවුන්ගේ දක්ෂතා දැකල විඳල ඇති.





ඔය වගේ වටින දේ අතරේ , බේරේ වැවේ ඉඳන් රටේ මිනිසුන් ගොනාට අන්දන “වීරයන්“ , “අම්මලා අප්පලා මාමලගේ “ හිස් කතාත් දකින්නට ලැබෙනවා. ඒ අස්සේ දැන් ටික කළක සිට අමුතුම උපදෙස් වගයක් පැතිරෙනව දැක්කා. ඒ , කාන්තා යට ඇඳුම් වල ඇතුළු පැත්තේ ඇති “වඳ“ ක්‍රීම වර්ග , කාන්තා පාසල් ළඟ අඩු මිලට ඇති “වඳ පෙති“ මිශ්‍රකළ මිල අඩු කෑම .. මේ සමහර අවස්ථා වල එම “රසායනිකය“ දේහ ගතවී කාන්තාව “වඳ බවට“ පත්වන ආකාරය “(අ)විද්‍යාත්මකව“ විස්තර කරල තිබුණා , ඒ පැහැදිලි කිරීමේ රසායනික විද්‍යාපද , අකුරු සහ වෛද්‍ය විද්‍යාවට අදාල පද කිහිපයක් තිබුණ නිසාදෝ , ලබා දී ප්‍රතිචාර අති “විශිෂ්ටයි“ . මෙන්න මේ අමුතු වඳ බෙහෙත ගැන වද වෙත අපෙ රටේ සමහරු  , මේ පිටුව වෙත යොමු කරන ලිංගික ගැටළු , තාවකාළික ගැබ් ගැනීම් වලක්වන ඖෂධ වර්ග ගන්න විදිය , වාර ගණන , දවස ගණනේම ගත්තෝත් වෙන දේ අහන ආකාරය දැක්කම මට හිතුනේ , ඔහොම වඳ බෙහෙත් කවලම් කළ කෑම කඩයක් තිබුණොත් , කඩේ පිරිසෙන්න සෙනඟ පිරේවි කියල.

මේ “වඳ බෙහෙත් “ නොවේ

කෙසේ වෙතත් ඔය වඳ කතාව ඔස්සේ ලිපියක් ලියන්න හිතුනේ , කියවන එක් අයෙක් හරි දැනුවත් වෙයි , අඩුම තරමේ දහයේ පන්තියේ ඉගෙන ගත්දේ හරි මතක් වෙයි කියල හිතාගෙන.


අැත්තටම මොකක්ද මේ “වඳ“ වීම කියන්නෙ ? ලොකු කතාවක් කෙටියෙන්ම කිව්වොත් , සාමාන්‍යෙයන් අනාරාක්ෂාකාරී ලිංගික එක්වීමක් ඔස්සේ ගැබ් ගැනීමක් ඇතිවිය  හැති වයසේ කාන්තාවක් වසරක් තුල එවන් අනාරක්ෂිත ලිංගික එක්වීම් වෙලත් දරු පිළිසිඳ ගැනීමක් නොවුනා නම් දැන් පොඩි ප්‍රශ්නාර්තයක් ඇය හෝ ඔහු “අසරුභාවයට“ පත්වූ අයෙක් දැයි. මේ පැහැදිලි කිරීමේ පුංචි වෙනස්කම් කරන අවස්ථා තිබුණත් , සාරාංශය එය.


මෙසේ “අසරුබවට/වඳබවට“ පත්වීම සඳහා කාන්තාවගේ ප්‍රජනක පද්ධතියේ ඇතිවන ව්‍යුහමය / රසායනික විකෘතිවිම් , රෝග තත්ත්ව වගේම පිරිමියගේ එවන්ම ගැටළුත් බලපාන්න පුළුවන් . ඒ වගේම දෙදෙනාගේ වයස , කායික , මානසික තත්ත්වයත් ඒවගේම වැදගත්. දැන් මම “වඳ භාවය ගැන“ කතා කරන්න යන්නේ නැහැ , මොකද මේ ගැන දිග ලිපියක් මීට කළකට පෙර ලිවූවා මතකවයි . කියවන්න කැමැත්තන්ට “ ලිපි මල්ල “ පිටුවට ගිහින් කියවන්න පුළුවන්. මම කතා කරන්න හදන්නෙ මේ වඳබව කෘතිමව ඇති කරන ක්‍රම ගැන , “වඳ කරවන“ ක්‍රම ගැන. මොකද අපේ රටේ පැතිරෙනවා කියන මේ වඳපෙති , වඳ බෙහෙත් රිංගවපු තනපට යට ඇඳුම් මේ කතාවට හේතු වුනු නිසා.


දැනට පිළිගත් බටහිර  වෛද්‍යවිද්‍යාත්මක ප්‍රතිකාර තුල “වඳ“ බෙහෙත් කියා කිසිවක් හඳුන්වා දීල නැහැ. ඒ කියන්නේ යට ඇඳුමක ගාල , කන ඉස්සෝ වඩේ එකට දාල කවල ජීවිත කාළෙටම “වඳබව“ ඇති කරන්න පුළුවන් බෙහෙතක් / රසායනිකයක් ඖෂධයක් වශයෙන් යොදා ගැනෙන්නෙ නැහැ. ඒ වෙනුවෙට ඇත්තේ ප්‍රතිසන්ධිරෝධනය කරන ඖෂධ හෝ ක්‍රම සහ ඇති වුනු කළලයක් හෝ ගර්භයක් විනාශකර හැකි රසායනික හෝ වෙනත් ක්‍රම හෝ වඳභාවය  ඇතිකරවන ශල්‍යමය/ සහ ආශ්‍රිත චිකිත්සීය ක්‍රම පමණයි . හැබැයි මේ එක්ක වත් ඇඟේ ගාල , අතුල්ලල , කටේ ගාල කරන්න ලේසි නැහැ.


මේ අතුරින් ප්‍රධානවම භාවිත කෙරෙන වෛද්‍යවිද්‍යාත්මක වන්ධ්‍යකරන පිළීවෙත් ආකාර තුනක් දකින්න පුළුවන්. ඒ තමයි ,

    1. Tube ligation මෙහිදී කෙරෙන්නෙ කළලයක් ඇති කිරීමට හේතුවන ප්‍රධාන සෛල දෙකෙන් කාන්තා දායකත්වය ලබා දෙන ඩිම්බ සෛලය , ගර්භාෂය වෙත් ළඟා වන ( ශුක්‍රාණුවක් සමඟ එක්වන ස්ථානයට ළඟා වන) පාරවල් දෙක වන පැලෝපීය නාල දෙක , කපා ගැට ගසා දැමීමක් . දැන් ගර්භාෂය තුලට ශ්‍රක්‍රාණු ගමන් කළත් , කාන්තාව ඩිම්බ නිශ්පාදනය කළත් මේ දෙන්නට එකතු වෙන්න ක්‍රමයක් නැහැ. ඒ කියන්නෙ දැන් එය “වඳභාවයට“ පත් කරල. මේක උදරය ඔස්සෙ යන උපකරණයක් හරහා පැයකටත් අඩු කාළයකදි කරගෙන එදාම ගෙදරයන්න පුළුවන් වුනත් , මේ ක්‍රමයට “වඳවෙන්න“ කාන්තා පර්ශවයේ වගේම පිරිමි පාර්ශවයේ කැමැත්ත , දැනුවත් බව අවශ්‍යයි. ප්‍රතිකාර කණ්ඩායම වාර ගණනක් ඔස්සෙ දැනුවත් කිරීම් පැහැදිලි කිරීම් කරල තමයි මෙම “වඳ සැත්කම“ කර දෙන්නේ.

    2. Tube implant : මෙහිදීත් කෙරෙන්නේ පෙර කී “පාර වහන එක“ , අර පැලෝපීය බටේ ඇතුලට කම්බි කොයිල් එකක් වගේ පුංචි වෛදළු උපකරණයක් තැන්පත් කරල , ක්‍රමයෙන් ඒ වටේ වහන එක තමයි මේ ක්‍රමය. පාර හොඳටම වැහිලා වැඩේ සාර්ථක වෙන්න මාස තුනක් විතර ගියත් ඊට පස්සේ “වඳම“ තමයි.

    3. Vasectomy : මේ කෙරෙන්නේ පිරිමි අයට , වෘෂණ කෝෂ වල ඉඳළ ශිශ්ණය ඔස්සේ ශුක්‍රාණු ගෙනෙන බටය / පාර කපල වහල දාන එකයි මෙතැනදි වෙන්නේ. දැන් ලිංගිකව එක්වුනත් , කාන්තාව ඩිම්බ සෛල ගෙනාවත් , එයත් එක්ක එකතු වෙන්න ශුක්‍රාණු සෛල එන්න විදියයක් නැහැ. “පාර වසා ඇත“ දැන් ඉතින් එයත් “වඳම“ තමයි. 

මේ තමයි දැනට තිබෙන “වඳකරන“ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම . මීට අමතරව ගැබ්ගැනීම් තාවකාළිකව වලක්වන , සීමා කරන බාධාකරන කොන්ඩම , ලූප , ස්පොන්ජ් වගේ කන්ට්‍රාෙසෙප්ටිව්ස් තිබෙනවා. හැබැයි ඒව “වඳ බෙහෙත්“ නෙවෙයි. මොකද ඒ බෙහෙත් ගන්න එක නවත්තල ආයෙත් ලිංගික එක්වීමක් වුනොත් ගැබ් ගැනීමක් වෙන්න පුළුවන්.

මේ නිසා අර කඩේ ඇඳුම්වල “වඳ ක්‍රීම්“, මේ කඩේ “කෑම වල “ වඳබෙහෙත් කතා නිකං “හිස් උද්දාමයන් ඇති කරවන රැළි මවන කතා“ විතරයි. අවාසනාවට මෙ සරළ දේ තේරුම් නොගන්න , නැත්තනම් දැනගත්තත් නොදන්නවා සේ ඉඳිමින් අර උද්දාමයේ  සුව විඳින්න කැමැත්තෝ කෙතරම් ඉන්නවද කියල හිතෙනවා මුහුණුපොතේ යත්දි. හැබැයි මේ “වඳ පෙති“ ගැන උද්දාම වන සමහර තරුණයන් , තම පෙම්වතියන්ට ගිල්ලන  “හදිසි ගැබ්ගැනීම් වලක්වන පෙති“ ECP ( නැත්නම් පොස්ටිනෝ)  ප්‍රමාණය ගැන එන ප්‍රශ්න දිහා බැලුවම නම් හිතෙන්නෙ , මේ අයට කොයිතරම්ම හදිස්සිද කියල.  

කෙසේ වෙතත් මා මේ ලීවේ අද දවසේ බටහිර වෛද්‍ය විද්‍යාත්මක තත්ත්වය අනුව , ඊට එහා වෙනස් ක්‍රමයක් ඇත්නම් මා ඒ පිළිබඳව වැටහීමක් නැහැ. කෙසේ වෙතත් , එවන් ක්‍රම ඇත්තේ නම් දන්න කෙනෙක් අදාල “වඳ බෙහෙතේ“ වල ක්‍රියාකාරීත්වය පැහැදිලි කර කොමෙන්ටුවත් දමතොත් අගය කරනවා. 

නැවත හමුවෙමු. සුව සතුට පිරි දිනයක්!


( මේ ලිපි පෙළම “කතා නොකරන කතා“ (https://healthinsinhala.wordpress.com/)  ලෙසින් wordpress තුල ඔබට කියවන්න පුළුවන්)

Advertisements